දෙවන ලෝක සංග්‍රාමය සමයේ කොරියානු කාන්තාවන් ලිංගික වහල් මෙහෙයේ යෙදැවීම සම්බන්ධයෙන් පවතින මතභේද නිරාකරණය කරගැනීමට ජපානය සහ දකුණු කොරියාව එකඟත්වයකට පැමිණියහ.
සෝල් අගනුවර පැවති සාකච්ඡාවකට එක් වූ ජපාන විදේශ කටයුතු අමාත්‍ය ෆුමියෝ කිශිඩා එම කාන්තාවන්ට විඳීමට සිදු වූ බව 'දැරිය නොහැකි වේදනාව' වෙනුවෙන් යළිත් වරක් සමාව ඉල්ලා සිටියේය.
"මිනිය නොහැකි අන්දමේ වේදනාබර අත්දැකීමකට මුහුණදෙමින්, සුව කළ නොහැකි ශාරීරික සහ මානසික වේදනාවන්ට මුහුණ දුන් සියලුම කාන්තාවන්ගෙන් ජපානයේ අගමැතිවරයා වශයෙන්, අගමැති අබේ යළිත් වරක් හෘදයාංගමව සමාව ඉල්ලා සිටිනවා," විදේශ ඇමතිවරයා පැවසීය.
එම ශෝචනීය අත්දැකීමට මුහුණ දුන් කොරියානු කාන්තාවන් වෙනුවෙන් ඩොලර් මිලියන නවයකට ආසන්න වන්දි අරමුදලක් පිහිටුවීමට ජපානය එකඟත්වය පළ කළේය.
දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම ගිවිසුම හැඳින්වූවේ 'අවසන් සහ නැවත හැරවිය නොහැක්කක්' ලෙසින්.
එම කාන්තාවන් මුහුණ දුන් කුරිරු අත්දැකීම් විමසා 1995 දී ප්‍රකාශයට පත් කෙරුණු 'comfort women' ග්‍රන්ථය එක්සත් ජාතීන්ගේ විශේසහ නියෝජිතවරියක වූ රාධිකා කුමාරස්වාමි විසින්ද යොදා ගනු ලැබුවේ ඔවුන්ට සාධාරණය ඉටුකිරීම සඳහා එක්සත් ජාතීන් දැරූ ප්රයත්නයේ කොටසක් වශයෙන්.
එම ග්‍රන්ථය සංස්කරණය කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික සමාජ විද්‍යාඥයකු වන කීත් හවර්ඩ් විසින්.
"ජපාන හමුදා භටයන් විසි දෙනෙකු දක්වා පිරිසකට දිනක් ඇතුලත ලිංගික සේවා සපයන්න සිදු වුන කාන්තාවන් ඒ අතර ඉන්නවා. පාවිච්චි කළ උපත් පාලන කොපුවක් පස් හය වතාවක් සෝදමින් නැවත භාවිතා කරපු ආකාරය ඔවුන් සඳහන් කළා" කීත් හවර්ඩ් බීබීසී යට පැවසීය.
"ලිංගාශ්‍රිත රෝග සහ අනෙකුත් ලෙඩ රෝග බෝවීම ගැන ඔවුන් කතා කළා. ඉතාමත් කෘර ආකාරයට තමාව දුෂණයට ලක් කළ ආකාරය ගැන ඔවුන් කතා කළා. එහෙම කරලත් පොඩි වරදක් හරි වුනා නම් පහරදීම් වගේ දඬුවම් විඳින්න සිද්ද වුනා. ඒ කාන්තාවෝ ගැබ් ගත්ත නම්, කළලය මැරෙන තුරුම බඩට පහර දුන්න. කාන්තාවෝ විශාල පිරිසකට මේ වගේ අමානුෂික වදබන්ධනවලට මුහුණදෙන්න සිද්ද වුනා."
එහෙත් ජපාන බලධාරීන් විසින් වෙන්කරනු ලැබ තිබෙන ඩොලර් අනූ ලක්ෂයට ආසන්න මුදලින් කළ හැක්කේ කුමක්ද යන්න පැහැදිලි නැති බවත් සමාජ විද්‍යාඥ කීත් හවර්ඩ් පවසයි.
"ලක්ෂයක් දෙකක් කාන්තාවන්ට සහන සලසන්න තිබුණ නම් මේක බොහොම සුළු මුදලක්. නමුත් දැන් මේ කාන්තාවන්ගෙන් ඉතිරිවෙලා ඉන්නේ, හඳුනාගෙන තියෙන්නේ 45ක්, 46 ක් විතර පිරිසක්," ඔහු පැවසීය.
"ඒ අයගේ සාමාන්‍ය වයස මම විශ්වාස කරන විදියට අවුරුදු අසූ නමයක්. ඉතින් ඇත්තටම ඉතිරිවෙලා ඉන්නේ මේ පිරිස පමණක් නම් මේ අරමුදල ප්‍රමාණවත්. කොහොම වුනත් ඔවුන්ගේ පවුල්වලට ආධාර කිරීමට අවශ්‍ය නම් හෝ උදාහරණයක් විදියට ඔවුන් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම සඳහා මේ මුදල කොහෙත්ම ප්‍රමාණවත් නැහැ."
'යූ හී නම්' එදා ලිංගික වහල් මෙහෙයේ යෙදැවුණු එක් කාන්තාවක්. මේ සම්මුතිය කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවයි, ඇය පවසන්නේ.
"ආණ්ඩුව ලොකු උත්සාහයක් දැරුවා. ඔවුන් අපිව රැක බලා ගත්ත. ඒත් මේ වෙලාවේ නම් අපි මේක ගැන සතුටු නැහැ. කොහොමවුනත් අපි ආණ්ඩුවේ තීරණය පිළිගන්නවා."
2015 වසර අවසන්වීමට ප්‍රථම මේ ප්රශ්නය නිමා කිරීමට දකුණු කොරියානු ආණ්ඩුව දරන උත්සාහය තමන් අනුමත කරන බවත් 'යූ හී නම්' සඳහන් කළාය.
මෙම සම්මුතිය හැකි ඉක්මනින් ක්‍රියාවට නැගීමට ජපානය පියවර ගත යුතු බවයි දකුණු කොරියාවේ ජනාධිපතිවරිය මේ අතර අවධාරණය කරන්නේ.
No comments:
Post a Comment