Latest News

Entertainment
Gossip

International

Amazing

Economy

Knowledge

Recent Posts

Monday, October 9, 2017

පහළ මල්වතුඔය ව්‍යෘපෘතිය යටතේ විදුලි බලාගාරයක්


පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් රටටත් ජනතාවටත් උපරිම ප‍්‍රතිලාභ ලැබෙන පරිදි ව්‍යාපෘති සැලසුම් කිරීමට පිියවර ගත යුතු බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
පසුගියදා අමාත්‍යංශයේ පැවති නිලධාරී හමුවකදී  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඉදිකිරීමට යෝජිත විදුලි බලාගාරය මගින්  4.68GWh ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට ලබා දීමට නියමිතයි.  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පූර්ණ දායකත්වය මත මෙම ව්‍යාපෘතියද ක්‍රියාත්මක වේ. එම බලාගාරය ඉදිකිරිමෙන් අනතුරුව එය පවත්වාගෙන යාමේ වගකීම ලංකා විදුලි බල මණ්ඩලය වෙත පවරන බව අමාත්‍යවරයා සඳහන් කළේ.
විදුලි බල උත්පාදනය සඳහා යොදා ගන්නා ජලය වාරි ඇල මාර්ග කිහිපයක් ඔස්සේ කුඩා වැව් වෙත යොමු කිරීමටද සැලසුම් කර තිබේ. මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියට සමගාමීව කුඩා වැව් 100 ක් ඉදිකිරීමට නියමිතයි. උග‍්‍ර ජල හිගයකට ගොදුරු වී ඇති වගාබිම් වෙත ජලය සැපයීම කුඩා වැව් ව්‍යාපෘතියේ අරමුණයි. මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය මගින් වගාබිම් අක්කර 40,000 ට ජලය සැපයීමට සැලසුම් කර තිබේ.
මේ වන විට ජලාශ ව්‍යාපෘතියේ මූලික අදියරේ ඉදිකිරීම් ආරම්භ කර තිබේ. ප‍්‍රධාන ව්‍යාපෘති කාර්යාලය තන්තිරිමලේ ප‍්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින අතර යෝධවැව දක්වා දිවෙන පෝෂිත ඇල මාර්ගයේ ඉදිකිරීම්ද සිදු වෙමින් තිබේ.
වසර තුනක් ඇතුලත සමස්ථ ව්‍යාපෘතියේ වැඩ නිම කිරීම සිය අපේක්‍ෂාව බවයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසූයේ.  ශී‍්‍ර ලංකාවේ ඉදිවන තුන්වන විශාලම ජලාශය ද වන පහළ මල්වතුඔය ජලාශයේ අපේක්‍ෂිත ජල ධාරිතාව  අක්කර අඩි 169440 කි.
වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ටී.පී අල්විස් යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

රක්ෂණ කර්මාන්තය විධිමත් කෙරේ

රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
( වැඩබලන මුදල් අමාත්‍ය )  මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් අද (9) පාර්ලිමේන්තුවේ දී දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කළේ ය.
ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය නම වෙනස් කරන්න යනවා. නියාමනය කරන කොමිෂන් සභාවක් ලෙසට. රක්ෂණ සංස්ථා ලැයිස්තුගත කිරීම සංශෝධනය කරනවා. රක්ෂණ නියෝජිතයන්ට එක සමාගමකට පමණයි වැඩ කළ හැක්කේ එය සංශෝධනය කරනවා.ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ලෙස නම් කරනවා, මෙම සංශෝධනය සමඟ. දැනට පවතින රක්ෂණ සමාගම් 26න් නවයක් කොළඹ කොටස් වෙලඳපොළේ ලැයිස්තුගත කර තිබෙනවා.නව ආදායම් බදු පනතක් ගෙනාවා. ක්‍රියාකාරි දිනය 2018 අප්‍රේල් 01 දින බව නැවත සඳහන් කරනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Sunday, October 8, 2017

IDH රෝහල, ශික්ෂණ රෝහලක් බවට පත් කෙරේ

IDH උණ රෝහල බෝවන රෝග ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කොට ඇත.
 
ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ රෝහල් සංවර්ධන කම්ටුව සංවිධානය කළ “අගයමු ඩෙංගු සත්කාර මෙහෙවර” උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොටිකාවත්ත “සණස” සංගම් ශාලාවේ  දී  ඊයේ (07) පස්වරුවේ පැවැත්විණි. එහිදී අමාත්‍යවරයා විසින් මේ බව ප්‍රකාශ කරන ලදී.
 
"2016 වර්ෂයේ දී හා 2017 වර්ෂයේ දී ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම වැඩි අගයක් දක්නට ලැබුණා. රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ජාතික බෝවන රෝග විද්‍යායතනය, මීගමුව දිස්ත්‍රික් මහ රෝහල ඇතුලු දිවයින පුරා රෝහල්වලින් ප්‍රතිකාර සේවා විධිමත්ව සිදුවීම හේතුවෙන් රෝගය පාලනය වුණා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඇඳන් 180 ක් තුළ රෝගීන් 600 ක් පමණ සිටියා. කාර්ය මණ්ඩලය සාමූහිකව වැඩ කළා. රෝහලට අවශ්‍ය සියලු ම දේවල් අමාත්‍යාංශය මගින් මම ලබාදුන්නා. රෝගීන්ට ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා ශ්‍රී ලංකා යුද හමුදාව තාවකාලික ගොඩනැගිලි ඉදිකර දුන්නා. සියලු දෙනා එකමුතුව වැඩ කළ යුතුයි. අපි වැඩ වර්ජන කරනවා කියලා වැඩවර්ජනවලට දායක නොවන වෛද්‍යවරුන් ද සිටිනවා. දීප්තිමත් ඉතිහාසයක් ඇති සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාව සතු වෙනවා. එම සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගන්නවා" යැයි ද පැවසීය.
 
"අයි.ඩි.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනය බෝවන රෝග ශික්ෂණ රෝහලක් ලෙස ඉදිරියේ දී නම් කර සංවර්ධනය කිරීමට පියවර ගන්නවා. මාස 06 ක් තුළ ඒ සඳහා අවශ්‍ය සැලසුම් මා වෙත ලබාදෙන්න. එවිට මුදල් වෙන් කරන්නම්. මෙම රෝහල සංවර්ධනය කළ යුතුයි. ඉදිරියේ ඇති වන විවිධ රෝගවලට මුහුණ දිය යුතු පරිසරයක් නිර්මාණය කළ යුතුයි. මෙම රෝහලේ සේවකයින් ඩෙංගු වසංගත කාලයේ දී කළ සේවාව මම අගය කරනවා. රෝගීන් ගැන සිතා පළමුව කටයුතු කිරීමත්, දෙවනුව තමන් ගැන සීතීමත් සෞඛ්‍ය සේවාවටම ආදර්ශයක්" යැයි ද කීය.
 
මෙහිදී රෝහල් කමිටුව විසින් සකස් කරන ලද සම්මාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිමුතු රත්නායක මහත්මිය, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා ඇතුලු වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලට ලබාදෙන ලදි.
 
මෙම අවස්ථාවට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්ච්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, හිටපු සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස් යන මහත්වරු සහ රෝහල් අධ්‍යක්ෂිකා දිමුතු රත්නායක මහත්මිය ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ. 

Monday, September 25, 2017

ජපානයට අපනයනය කරන ශ්‍රී ලංකාවේ මත්ස්‍ය තොග ප්‍රමාණය වැඩි වේ


ජපානයට අපනයනය කරන ශ්‍රී ලංකාවේ මත්ස්‍ය තොග ප්‍රමාණය වැඩි කිරීමට එරට උපරිම සහාය ලබා දෙන බව ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මසහිසා සාටෝ මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී ඇත.
 
ජපානයේ නිල සංචාරයක නිතරත ව සිටින ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මසහිසා සාටෝ (Masahisa Sato- State Minister for Foreign Affairs- Japan)  හමු වී කළ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කොට ඇත.
 
මේ වනවිට ශ්‍රී ලංකාව විසින් විදේශ රටවලට අපනයනය කරනු ලබන මසුන් ගෙන් සියයට 12ක් මිල දී ගනු ලබන්නේ ජපානය විසිනි. විශේෂයෙන් ටූනා මසුන් උපයෝගිකර ගනිමින් ජපාන ජනතාව විසින් පරිභෝජනය කරනු ලබන සාම්ප්‍රදායික  ආහාරයක් වන සුෂි හා ශෂිමි මේ වනවිට ශ්‍රී ලංකාව විසින් සකස් කර එරටට අපනයනය කරනු ලබයි. ජපානයේ පරිභෝජනයට ගන්නා එසේ සකස් කරන  ලද මෙරට ටූනා මසුන් කිලෝවක් එරටට මිල දී ගනු ලබන්නේ රුපියල් 30,000ක් වැනි ඉහළ මිලකටය.
 
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජපානයට අවශ්‍ය සුෂි හා ශෂිමි නිෂ්පාදන වැඩ පිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන්නැයි එරටින් ඉල්ලීමක් කළේය. එමෙන්ම දැනට අප රට විසින් අපනයනය කරනු ලබන සියයට 12ක් තරම් වන මත්ස්‍ය තොග ප්‍රමාණය වැඩි කිරීමට ශ්‍රී ලංකා රජයට හැකි බවත් ඊට ජපාන රජයේ සහයෝගය අපේක්ෂා කරන බවත් කීය.
 
මෙහිදී අදහස් පළ කළ ජපාන විදේශ කටයුතු අමාත්‍ය මසහිසා සාටෝ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ සංවර්ධනට ලබා දිය හැකි සියලු සහාය ජපානය රජය මගින් ලබා දෙන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ටූනා මසුන් ජපාන ජනතාව අතර ඉතා ජනප්‍රිය බවත්, ටූනා මසුන් ආශ්‍රිතව නිෂ්පාදනය කරන සුෂි හා ශෂිමි යන ජපාන සාම්ප්‍රදායික ආහාර වර්ග ශ්‍රී ලංකාවේ නිපදවීම හා ඒවා ජපාන වෙලෙදපොළට මිල දී ගැනිමේ කටයුතු ශක්තිමත් කරන බවත් ඒ මහතා කියා සිටියේය.
 
දැනට ජපාන රජය විසින් වාර්ෂිකව එරටට මිල දී ගන්නා මෙරට ටූනා මසුන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 700කට ආසන්න වේ.
 
ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් පවත්වන ලද භෝජන සංග්‍රහයකට ද අමාත්‍යවරයා සහභාගි වු අතර එම අවස්ථාවන් සියල්ල සම්බන්ධීකරණ කටයුතු සඳහා එරට ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා සහ එතුමාගේ කාර්ය මණ්ඩලය මහත් කැපවීමක් කළ බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Sunday, September 3, 2017

කාන්තාවන්ගේ අයිතින් තහවුරු කිරීමට කටයුතු කරනවා - අගමැති රනිල්



මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් කාන්තාවගේ ආර්ථික හා දේශපාලන යන අංශයන්හි ශක්තියත් දෙකම දියුණු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂය විපක්‍ෂයේ සිටින විට කාන්තා අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට අප කැප වීමෙන් කටයුතු කළ බවත් උතුරේ කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳීමටත්, කාන්තා මූලික පවුල් සඳහා ආධාර ආදිය ලබාදීමටත් කටයුතු කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
අගමැතිවරයා ප්‍ර‍කාශ කළේ සමස්ත කාන්තාවන්ගේ දේශපාලන සහ ආර්ථික අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන බවයි.
මාලඹේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ  පසුගියදා පැවැති කාන්තා බලගැන්වීමේ "දිරිය කතුන්" වැඩසටහනට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. ඒ මහතා සිදු කළ කතාව පහත සඳහන් වේ.
" සුජීව සේනසිංහ ඇමැතිතුමාගේ කඩුවෙල ආසනයේ කාන්තා සංවිධානය අද අලූත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. සුජීව සේනසිංහ ඇමැතිතුමා රාජ්‍ය ඇමැති ධූරය බාර ගෙන මලික් සමරවික්‍රම ඇමැතිතුමා සමග එක් වී විශාල වැඩ කොටසක් ඉටු කරමින් සිටිනවා. එතුමාගේ ප්‍රධානත්වයෙන් තායිලන්තයේ ප්‍රධාන සමාගමක් සමග එක්ව කලූතර ප්‍රදේශයේ අක්කර 400 ක් පුරා පැතිරුණු විශාල කර්මාන්ත කලාපයක් ආරම්භ කිරීමට අප කටයුතු සූදානම් කර තිබෙනවා.
ඉන් පසුව අවිස්සාවේල්ල ප්‍රදේශයේත් එවැනිම විශාල කර්මාන්ත කලාපයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කලූතර, අවිස්සාවේල්ල සහ වැලිගම ප්‍රදේශයන්හි ආරම්භ කෙරෙන කර්මාන්ත කලාපයන්ට අමතරව හම්බන්තොට තවත් කර්මාන්ත කලාප කිහිපයක්ම ආරම්භ කිරීමට නියමිතයි. එම ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ඇතුලූ විශාල වැඩ කොටසක් සුජීව සේනසිංහ ඇමැතිතුමා යටතේ ක්‍රියාත්මක වෙනවා.
මේ සියල්ල සිදු කෙරෙන අතරතුර රටේ අපනයනය වැඩි කිරීම ද සිදු කළ යුතුයි. අද රටේ අපනයනයට වඩා ආනයනය වැඩි වී තිබෙනවා. මේ හේතුවෙන් අපට ණය වීමට සිදු වෙනවා. එම ණය ගෙවීමට යාමේ දී තවත් ගැටලූ ඇති වෙනවා. මේ සියලූ දේ සඳහා ආර්ථික සංවර්ධන උපාය මාර්ග අමාත්‍යාංශය යටතේ එතුමා ගෙන යන වැඩපිළිවෙළ අප අගය කළ යුතුයි.
ඒ වගේම පාර්ලිමේන්තුව තුළත්, රූපවාහිනියේ සියලූ සාකච්ඡා සඳහාත් ඉදිරිපත් වන ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ’’Front Line of Politics"  ලෙස සුජීව සේනසිංහ ඇමැතිතුමා ඇතුලූ තරුණ මන්ත්‍රීවරු අපේ පක්‍ෂය වෙනුවෙන් වැඩ කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම අද දිනයේ එතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන මෙම වැඩසටහනත් අපගේ ඇගයීමට ලක් විය යුතුයි.
මේ වැඩපිළිවෙළ මගින් මෙහි සිටින කාන්තාවන් සියලූ දෙනාටම රෙදි මහන යන්ත්‍ර ලබා දෙන අතර එමගින් මේ කාන්තාවන්ට අලූත් ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව ලැබෙනවා. අද මෙහි සිටින්නේ මේ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන පළමු කණ්ඩායම පමණයි. මෙම කාන්තා සංසදය තුළ සිටින මීටත් වඩා අති විශාල සංඛ්‍යාවකට මෙම වැඩසටහන යටතේ ඉදිරියේදීත් රෙදි මහන යන්ත්‍ර ලබා දෙනවා.
ඇඟලූම් කර්මාන්තය ඉතා හොඳ ව්‍යාපාරයක්... වර්තමානය වන විට විවිධ මාදිලියේ ඇඳුම් පැළඳුම් සඳහා විශාල ඉල්ලූමක් පවතිනවා. අද බොහෝ තරුණ තරුණියන් වැඩි කැමැත්තක් දක්වන්නේ වෙළෙඳපොළෙන් ඇඳුම් පැළඳුම් මිලදී ගන්නවාට වඩා තමන් වෙනුවෙන්ම නිර්මාණය කරන ඇඳුම් පැළඳුම් භාවිතා කිරීමටයි. මේ ප්‍රවණතාවය ලෝකයේ සෑම රටකම දැකිය හැකියි. එම නිසා ලෝකයේ කෙතරම් විශාල ඇගලූම් නිෂ්පාදන ආයතන තිබුණත් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වන්නේ තමන් වෙනුවෙන්ම නිර්මාණය කරගත් හෝ තමන් විසින්ම නිර්මාණය කර ගත් ඇඳුම් පැළඳුම්වලටයි.
මේ ආකාරයට මහා පරිමාණ සහ සුළු පරිමාණ වෙළෙඳපොළවල් දෙකටම ඇතුළත් වීමේ අවස්ථාව අපි ජනතාවට ලබාදිය යුතුයි. මෙවැනි වෙළෙඳපොළ ගණනාවක් ලෝකයේ දැකිය හැකියි. අමෙරිකාවේ සිට ශ්‍රී ලංකාව දක්වා සුපිරි වෙළෙදැසල් කෙතරම් තිබුණත් ඇතැමුන් වැඩි කැමැත්තක් දක්වන්නේ පොළට ගොස් තමන්ට අවශ්‍ය බඩු මිලදී ගැනීමටයි. අද පවතින ආර්ථිකය තුළ මෙම කණ්ඩායම් දෙකම දැකිය හැකියි.
අද ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා කාන්තාවන්ට විශාල සහනයක් ලැබෙනවා. මෙම මහන යන්ත්‍ර ලබා ගෙන සුළු ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ණය ලබාදීමේ වැඩසටහනක් ද මේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා සිංගර් සමාගමත්, හැටන් නැෂනල් බැංකුවත් එකට එකතු වී තිබෙනවා. මේ සියල්ල ලබා දෙන්නේ ස්වයං රැකියා ආරම්භ කරන ඔබ සඳහායි.
තවත් වසර පහකින් මම මේ ස්ථානයට පැමිණෙන විට මේ පිරිසෙන් ස්වයං රැකියා කරන්නන් ඉතිරිව නැති බව මට පෙනේවි. ඊට හේතුව ඒ වන විට ඔවුන් කුඩා ව්‍යාපාරිකයන් බවට පත් වන නිසයි. කොටසක් ස්වයං රැකියා කරන විට තවත් කොටසක් කුඩා ව්‍යාපාරිකයන් බවට පත්වී ඔවුන් යටතේ සේවකයන් කිහිප දෙනෙකු සේවය කිරීම දක්වා දියුණුවක් ලබාගත හැකියි. තවත් අවුරුදු පහකින් පමණ මෙහි පැමිණියහොත් ඒ සියලූම දෙනා ළඟ පරිගණක යන්ත්‍රත් තියෙන්න පුලූවන්. මොකද නවීන ක්‍රමයට එය අත්‍යවශ්‍ය වන නිසයි.
ඇතැමුන් ඒ වන විට තමන්ගේ ජංගම දුරකථනයෙන් තමන්ට අවශ්‍ය මෝස්තරය ඍජුවම මහන මැෂිම දක්වාම සම්බන්ධ කිරීම දක්වා දියුණු වීමට හැකියි. ඉන් තවත් අවුරුදු 10 ක් ගත වන විට කුමක් සිදුවේදැයි මට කිව නොහැකියි. කෙසේ හෝ මෙම කුඩා ව්‍යාපාරිකයන් සහ ස්වයං රැකියා කරන්නන් යන ඛාණ්ඩ දෙකම අපට අවශ්‍ය වනවා.
ඉදිරියේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය කටයුතු අප සිදු කරනවා. මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වසරකට ලක්‍ෂ 20 ක් පමණ වනවා. අපේ අරමුණ එය ලක්‍ෂ 50 දක්වා වර්ධනය කිරීමයි. ඒ හරහා අප බලාපොරොත්තු වන්නේ විශාල අලෙවියක් ඇති කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමයි. මේ සියල්ල තුළින් අප උත්සාහ කරන්නේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමයි.
මහා සංඝ රත්නය මෙහිදී ප්‍රකාශ කළ ආකාරයට එදා රට ණය බරට හසු වී තිබුණා. මේ ණය ප්‍රමාණය නිසා අපේ ආණ්ඩුව එක් වසරක් හෝ පවතින්නේ නැති බව ඇතැමුන් එදා පැවසුවා. නමුත් අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ පරමාර්ථය ඇතිවයි. මේ වන විට අපි ක්‍රමක්‍රමයෙන් ආර්ථිකය ගොඩනගමින් සිටිනවා.
2015 – 2016 කාලවල දී ජනතාවට ප්‍රශ්න කිහිපයකට මුහුණදීමට සිදුව තිබුණා. නමුත් 2017 වසරේ මේ වන විට ජනතාව අතේ මුදල් ගැවසීමට පටන් අරන්... එළැඹෙන සිංහල අලූත් අවුරුද්ද වන විට මේ තත්ත්වය තවත් වර්ධනය කර ගත යුතුයි. රටේ වැඩිම අලෙවියක් වාර්තා වන්නේ නත්තල් කාලයේ සහ සිංහල අලූත් අවුරුදු කාලයේයි. එම අලෙවිය තවදුරටත් වැඩි කරමින් ශක්තිමත් ආර්ථිකයක් අප ඇති කරන්නේ කෙසේද?
සුජීව සේනසිංහ ඇමැතිතුමා පැවසූ ආකාරයට විදේශ ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් රටට ගෙන්වා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර දේශීය ආයෝජකයන්ට සහන සලසා ඔවුන්ව දිරිගැන්වීමට කටයුතු කරනවා. ඒ වගේම කුඩා ව්‍යාපාරිකයන් ශක්තිමත් කරනවා. රටේ ආර්ථිකය ශක්තිමත් වීමට අනුකූලව රැකියා අවස්ථා ඇති වෙනවා. මේ වන විට රටේ රැකියා අවස්ථා බොහොමයක් නිර්මාණය වී තිබෙනවා. එවිට ජනතාවගේ ආදායම ඉහළ යනවා. ජනතාවගේ පසුම්බියේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි වූ විට සුපිරි වෙළෙඳසැලට, වෙළෙඳසැලට හෝ පොළට පැමිණ බඩු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.
අප ක්‍රියා කරන්නේ එම ආර්ථික දියුණුව ඇති කිරීමටයි. ආර්ථිකය දියුණු වූ විට ආගමික සිද්ධස්ථාන සඳහා මීටත් වඩා ආධාර උපකාර ලබා දීමට හැකි වෙනවා. පැවැති රජයන් ආදායම් උපයා ගත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම මගිනුයි. නමුත් අපි එම පිළිවෙත අනුගමනය කළේ නැහැ. ලෝක වෙළෙඳපොලේ පවතින ඉන්ධන මිලට අනුව අපේ තෙල් මිල පාලනය කළා. ඉන්ධන මගින් අපට අධික ලාභයක් හෝ අලාභයක් අවශ්‍ය නැහැ. ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදය ඔස්සේ අපි ජනතාවට සහනයක් ලබා දුන්නා.
ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළා. ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 20,000 බැගින් ලබාදීම අප ආරම්භ කළා. ඒ අනුව ඉදිරි වසර තුන අපේ සංවර්ධන යුගය ලෙස අප වැඩ කටයුතු කරනවා. ඒ පිළිබඳව එළැඹෙන සඳුදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රටට හෙළි කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ආර්ථික වැඩසටහනේ අපේ අවදානය යොමු වූ විශේෂ කණ්ඩායමක් සිටිනවා. ඒ කාන්තාවයි.
වැවිලි කර්මාන්තයේත්, ඇගලූම් කර්මාන්තයේත්, රාජ්‍ය සේවයේත් අංශ ගණනාවක සිටින්නේ කාන්තාවන්. මැදපෙරදිග රැකියා ක්ෂේත්‍රයේ වැඩි ප්‍රමාණයක් කාන්තාවන්. ඒ අනුව රටේ ආර්ථිකය වැඩි වශයෙන් බලාත්මක කරන්නේ කාන්තාවන් විසින්. එම කාන්තාවන් හැමදාම රටේ ආර්ථික ව්‍යූහයේ යටිපෙළෙහි පමණක් සිටිය යුතු නැහැ. ඔවුන් එතැනින් ඉහළට පැමිණිය යුතුයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ලේකම්වරුන් දක්වා පැමිණිය යුතුයි. මේ කටයුතු ක්‍රමක්‍රමයෙන් ආණ්ඩුව විසින් සිදු කරමින් සිටිනවා. පුද්ගලික අංශයේ අධ්‍යක්‍ෂක, කළමනාකාර ධූරවලට කාන්තාවන් පත්විය යුතුයි. අපේ රටේ එම ප්‍රවණතාවයෙහි අඩුවක් තිබෙනවා. නීති සහ වෛද්‍ය වෘත්තියෙහි කාන්තාවන්ගේ නියෝජනය හොදින් දක්නට ලැබෙනවා. කම්කරු ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය ප්‍රතිශතයක් ලෙස 35% ක් වනවා. එය 40% දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම කාන්තාවගේ ආර්ථික ශක්තිය වැඩි කිරීම පිළිබඳවත් අප අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව මේ වැඩසටහන හරහාත් කාන්තා ව්‍යාපාරිකයන් බිහිවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. කාන්තාවගේ ආර්ථික ශක්තිය ඉහළ නංවන අතරම මේ වන විට අප කාන්තාවගේ දේශපාලන ශක්තියත් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනවා. මෙතෙක් කල් මැතිවරණ සඳහා කාන්තා නියෝජනය ඉතා පහළ අගයක් ගෙන තිබුණා.
මනාප ක්‍රමය සමඟ කාන්තාවන් සහ අලූත් තරුණයන් පවා මැතිවරණවලට තරග කිරීමට අකමැති වුණා. එවිට සුජීව සේනසිංහ ඇමැතිතුමා පැවසූ ආකාරයට, ඇතැම් තරුණ තරුණියන් බලෙන් මැතිවරණවලට ඉදිරිපත් කරවීමට එකල මට සිදු වුණා.
නමුත් දැන් තත්ත්වය වෙනස් වී තිබෙනවා. කේවල සහ අනුපාත ක්‍රමය සම්මිශ්‍රණය වූ මැතිවරණ ක්‍රමයක් අප ඇති කර තිබෙනවා. කේවල ක්‍රමය යටතේ මැතිවරණ පවත්වන විට මනාප 25% - 30% ක් ලබා ගත්ත ද ඇතැම් අපේක්‍ෂකයන් පරාජය විය හැකියි. නමුත් ඔවුන්ට ද අවස්ථාවක් ලැබිය යුතුයි. පසුගිය වසරේ මෙන් ඡන්ද අපේක්‍ෂක නාම ලේඛනයක් ඉදිරිපත් කර, ඡන්දය ලබා දෙන්නේ කාටදැයි යන ක්‍රමය එළැඹෙන මැතිවරණයේ දී ක්‍රියාත්මක වන්නේ නැහැ. එය කොට්ඨාශවලට බෙදෙනවා. කොට්ඨාශ ක්‍රමය අනුව කඩුවෙල ආසනය කොට්ඨාශ 28 කට බෙදෙනවා. එම කොට්ඨාශ 28 කට අපි අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් 28 ක් පත් කළ යුතු වෙනවා.
එවිට ජනතාව තමන්ගේ ප්‍රදේශය වෙනුවෙන් සේවය කිරීමටට වඩාත් සුදුසු පුද්ගලයාට මනාපය ප්‍රකාශ කරනවා. එම ක්‍රමය වඩාත් පහසුයි... නුසුදුසු පුද්ගලයන් කවුදැයි ජනතාව හඳුනා ගන්නවා. මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයාට තම ප්‍රදේශය දියුණු කළ හැකි දැයි ජනතාව දන්නවා. ඒ අනුව තමන්ට සුදුසු අපේක්‍ෂකයා පහසුවෙන් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා.
එමෙන්ම මැතිවරණයෙන් පරාජයට පත් වන පක්‍ෂවලට හිමි වන අනුපාත ක්‍රමයක් ද මෙම මැතිවරණයට ඇතුලත් වෙනවා. අපි තවත් අත්හදා බැලීමක් කරනවා. ඒ 25% කාන්තා නියෝජනයක් ඇති කිරීමයි. එක් එක් පක්‍ෂ එය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි අප අවධානයෙන් සිටිනවා. සෑම පක්‍ෂයක්ම මෙය කළ යුතුයි. මේ ආකාරයට අපි අලූත් ක්‍රමවේදයක් ඇති කර තිබෙන අතර මැතිවරණයෙන් අනතුරුව එහි යම් අඩුපාඩු දැකිය හැකියි. නමුත් පළාත් සභා මැතිවරණයේ දී කාන්තා නියෝජනය අනිවාර්යෙන් 25% දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා.
මේ අත්හදා බැලීම සඳහාත්, නව මැතිවරණ ක්‍රමය සඳහාත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාලය වුවමනා බැවින් පළාත් සභා මැතිවරණය අවුරුද්දකින් කල් දමා තිබෙනවා. මේ අනුව ක්‍රියා කළ විට පළාත් සභාව තුළත් කාන්තා නියෝජනය ඉහළ යනවා. ප්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවටත්, පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවටත් හොඳ ක්‍රියාකාරීන්ට තේරී පත් විය හැකියි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් කාන්තාවගේ ආර්ථික ශක්තියත්, දේශපාලන ශක්තියත් යන අංශ දෙකම දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්‍ෂය විපක්‍ෂයේ සිටින විට කාන්තා අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට අප කැපවුණා. තවදුරටත් ඒ සම්බන්ධයෙන් යම් යම් සාකච්ඡා සිදු කරනවා. උතුරේ කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳීමටත්, කාන්තා මූලික පවුල් සඳහා ආධාර ආදිය ලබාදීමටත් අප කටයුතු කරනවා. අපේ  සමස්ථ කාන්තාවන්ගේ දේශපාලන සහ ආර්ථික අයිතිය තහවුරු කිරීමට අප කටයුතු කරන බව මම කියන්න කැමතියි.
පක්‍ෂයක් ලෙස පසුගිය වසර 10 තුළ අප තීරණ ගත්තත් ඒවා ක්‍රියාත්මක කිරීමට අපට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් ආණ්ඩු බලය ලබාගත් මේ අවස්ථාවේ අප එම තීරණ ක්‍රියාත්මක කරනවා. කාන්තාවන්ට මෙවැනි නියෝජනයක් ලබාදීම පිළිබඳව ඇතැමුන්ට ප්‍රශ්න තිබුණා. නමුත් මේ වන විට රටේ කාන්තා ප්‍රතිශතය ජනගහනයෙන් 50% ඉක්මවා තිබෙනවා. එම නිසා තවත් ඒ පිළිබඳව වාද විවාද කර පළක් නැහැ. එබැවින් පාර්ලිමේන්තුව තුළත් 25% ක අවම නියෝජනයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. එය නෝර්වේ රාජ්‍යයේ වගේ 50% ක කාන්තා නියෝජනයක් බවට පත් වන්නට පුළුවන්... කෙසේ නමුත් ආරම්භයක් ලෙස අප මේ කටයුතු සිදු කරනවා. ඉදිරි වසර 10 තුළ දී අපට එමගින් විශාල ප්‍රගතියක් ලබා ගත හැකියි."

Saturday, August 19, 2017

පොළොන්නරුව ශෛලමය කැටයම් පිරිසිදු කිරීම ඇරඹේ

පොළොන්නරුව ඓතිහාසික පුරාවිද්‍යා භූමියේ පිහිටි ශෛලමය කැටයම්වල ව්‍යාප්ත වී ඇති ඇල්ගී සහ දිලීර වර්ග ඉවත් කිරීම ඊයේ ආරම්භ කෙරුණා.  ඊට මූලිකත්වය ගෙන ඇත්තේ, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාර අංශයේ නිලධාරීන්.  වටදාගෙය ඇතුළු ශෛලමය ප්‍රතිමා.

කැටයම් සහිත බහිරව රූප, සඳකඩ පහණ, කොරවක්ගල, මුරගල් හා ගල් කණුවල දිලීර වර්ගයක් පැතිරගොස් ඇති බව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ නිරික්ෂණවල දී තහවුරු වී තිබෙනවා.

මේ තත්වය එම නිර්මාණවල පැවැත්මට මෙන්ම සුන්දරත්වයට ද දැඩි අවදානමක්.  පිරිසිදු කිරීම් සඳහා භාවිත කෙරෙන්නේකඩදාසි හා ජලය පමණයි. ඒ අනූව. ශෛලමය නිර්මාණවලට කිසිඳු හානියක් නොවන පරිදි දිලිර සහ ඇල්ගී ඉවත් කිරීම සිදු කෙරෙනවා.

Sunday, August 13, 2017

දළදා මාළිගයේ රන් වියන ප්‍රතිසංස්කරණය කරන බව අගමැති පවසයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයට ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙනුයි ආගමික වැඩසටහන් පැවැත්වුණේ.
ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතායි. අනතුරුව අග්‍රාමාත්‍යවරයා දළදා සමිදුන් වැදපුදාගෙන මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තා. දළදා මාලිගයේ දහවල් දානමය පින්කම පැවැත්වුණේ ද අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන්.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ ශ්‍රී දළදා මාලිගයේ රන්වියන ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බවයි.දළදා මාලිග පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්වුණා. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ , අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක , මලික් සමරවික්‍රම , පාර්ලිමේන්තු මන්ත්‍රි  රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අනතුරුව ජනතාව වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා ඔවුන් සමග සුහද කතාබහක ද නිරත වුණා.
මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් මහනුවර මීරා මක්කම් ඉස්ලාම් දේවස්ථානයේ ද ආගමික වැඩසටහන් පැවැත්වුණා. ජනාධිපතිතුමාට , අග්‍රාමාත්‍යවරයාට මෙන්ම රටට සෙත්පතා විශේෂ ආගමික වතාවත් හා යාඥා කිරීම මෙහිදී සිදුකෙරුණා. මලික් සමරවික්‍රම , ලක්‍ෂ්මන් කිරිඇල්ල, එම් එච් ඒ හලීම් යන අමාත්‍යවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Saturday, August 12, 2017

ලක්සල රු.මිලියන 04ක් ලාභයි



2015 වසරේදී රුපියල් මිලියන 21ක් පාඩු ලැබූ ලක්සල පසුගිය වසරේ රුපියල් මිලියන 04ක් ලාභ ලැබූ තත්වයට පත් කළ බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.
කොළඹ හත තුන්මුල්ලේ පිහිටි ත්‍යාග හා සැමරුම් අලෙවිසැළේ අලෙවි කුටියක් විවෘත්ත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපති ආචාර්ය එස් එම් එම් ස්මයිල් ලක්සල අද්‍යක්ෂ ජෙනරාල් ඒ නවාස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

Monday, August 7, 2017

මහනුවර පිළිකා රෝහලේ ඉදිකිරීම් 2018 පෙර අවසන්



මහනුවර මහ රෝහල් භූමියේ ඉදිකෙරෙන මහල් 12 කින් යුත් නව පිළිකා රෝහලේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේ අවසන් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිකිරීම් සමාගමට දැනුම් දෙන ලදි. 
එම රෝහලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ ව සොයාබැලිම සඳහා මහනුවර මහ රෝහලට පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදු කරන ලද අතර, එහි ඉදිකිරිම් කටයුතු කඩිනම් කරන ලෙස ද නියෝග කරන ලදි. 
රෝහලට අවශ්‍ය උපකරණ ඇණවුම් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී දැනුම් දුන්නේය. ඇදන් 380 කින්  යුත් මෙම රෝහලේ රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරිමට ද නියමිතය. ඉදිරියේ දී බෝනොවන රෝග අවධානම ඉහළයාම හේතුවෙන් ඒ සඳහා සුදානම්වීමේ අරමුණින් මෙම රෝහල ඉදිකරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. 







Sunday, August 6, 2017

අද අර්ධ චන්ද්‍රග්‍රහණයක්


ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට අද අර්ධ චන්දග්‍රහනයක් දැක ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා.
මෙම චන්ද්‍රග්‍රහණයේ ආරම්භය අද රාත්‍රී 09.20ට සිදුවන අතර ග්‍රහණ අවසානය 08දා අළුයම 02.21ට සිදු වේ. ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට ද යුරෝපය, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් බොහෝමයකට ද මෙම චන්ද්‍රග්‍රහණය දිස්වනු ඇත.
 පියවි ඇසට චන්ද්‍රග්‍රහණය දිස් වේ. චන්ද්‍රයා, පෘථිවියේ වඩා අදුරු වූ පූර්ණ ඡායාව තුළින් ගමන් කිරීම අරඹන අවස්ථාව අද රාත්‍රී 10.53ට උදාවන අතර චන්ද්‍රයා පූර්ණ ඡායාවෙන් ඉවත් වීම පැය 01යි විනාඩි 55කින් එනම් මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 48කට පසු සිදුවේ.
 රාත්‍රී 10.53 සිට ග්‍රහණය හොදින් දිස්වනු ඇත. මෙම ග්‍රහණයේ උපරිම අවස්ථාව රාත්‍රී 11.51 වන විට චන්ද්‍රයාගෙන් සියයට 25කට ආසන්න ප්‍රමාණයක් පෘථිවි පූර්ණ ඡායාවෙන් වැසී ඇති සේ දිස්වනු ඇත.
ලබන වසරේ ජනවාරි 31 හා ජුලි 27 යන දිනයන්හි පූර්ණ චන්දග්‍රහන දෙකක් ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමේ අවස්ථාව හිමිවනවා.

Saturday, August 5, 2017

වරනාසි නගරයට කොළඹ සිට ඍජු ගුවන් සේවයක්



ඉන්දියාවේ පූජනීය නගරයක් වන වරනාසි නගරයට කොළඹ සිට ඍජු ගුවන් සේවයක් ආරම්භ කෙරුණා. ඉන්දියාවේ ජාතික ගුවන් සේවය වන එයාර් ඉන්දියා ගුවන් සමාගම මේ සඳහා එක්ව සිටිනවා. නව ගුවන් සේවාව ආරම්භ කරමින් වරනාසි ගුවන්තොටුපොළින් පිටත් වූ A320 ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ සවස ගොඩබැස්වීම සිදුකෙරුණා. සතියට දෙවතාවක් සිකුරාදා සහ ඉරිදා යන දිනවල දී ගුවන් සේවාව ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

Thursday, June 15, 2017

දිවයින පුරා කුඩා පරිමාණ ඇගලුම් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා 150ක්


ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමට දිවයින පුරා කුඩා පරිමාණ ඇගලුම් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා 150ක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයයි වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නේ.

මේ අනුව සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි මෙම කර්මාන්ත ශාලා පිහිටුවීමට තීරණය කර තිබෙනවා. මේ වන විටත් කර්මාන්ත ශාලා පනහක නිෂ්පාදක කටයුතු ආරම්භකර ඇති බවයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසන්නේ. අම්පාර දිස්ත්‍රික් කුඩා පරිමාණ ඇගලුම් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා ආරම්භ කිරීමේ සමාරම්භක උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජාත්‍යන්තර වෙළෙදපොළට ගැළපෙන ලෙස ඇගලුම් නිෂ්පාදන සිදු කිරීම පිලිබද මාස 6ක මූලික පුහුණුවක් ලබා දීමෙන් පසු තෝරාගත් පිරිස ක්‍රියාවලිය සදහා එක්කර ගන්නවා. එක් කර්මාන්ත ශාලාවකට පුහුණුලාභීන් හතලිස් දෙනෙක් බදවා ගන්නා අතර ඔවුන් පුහුණු කිරීම සදහා පළපුරුදු උපදේශකයෙකු ද පත්කරනවා. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී අවතැන් වූ පවුල්, යුද වැන්ඳඹුවන් සදහා ප්‍රමුඛත්වය ලබා දීමටයි අමාත්‍යංශය පියවර ගෙන තිබෙන්නේ. පුහුණු කිරීමේ කටයුතු සඳහා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය,  ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ජාතික ශිල්ප සභාව යන ආයතන මගින් සම්පත් දායකත්වය ලබා දෙනවා. මෙම නිෂ්පාදන දේශීය ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමට සහ මහා පරිමාණ අපනයනකරුවන්ගේ උපකොන්ත්‍රාත් ලෙස සම්බන්ධ කරවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය මැදිහත් වනවා. මේ යටතේ ග්‍රාමීය කාන්තාවන් හයදහසකට ඝෘජු රැකියා අවස්ථා හිමිවන අතර ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 287.5ක මුදලක් වෙන්කර තිබෙනවා.
Vedios

Recent Post